Tuesday, May 14, 2019

හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ට විරුද්ධව පියවර ගන්න සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත


ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වු බවත් එම ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු ආරක්‍ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වු බවද අගමැතිවරයා පවසයි.
 එම නිසා එම තත්ත්වය පාලනය කර ගැනීමටත් ආරක්‍ෂක අංශවලට හැකි වු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
නිවේදනයක්  නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටේ සාමය බිඳ වැටී, ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වන බවත් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්‍ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණ බවත් අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත.
තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිඵලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීම බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.
වයඹපළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළ බවත් දේපොළ හානි සිදු කර ඇති බවත් නමුත් මේ වන විට පොලිසියත්, ආරක්‍ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙන බවද ඒ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පැවසුවේ විවිධ ස්ථානවල කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ ගන්නා බවත් මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්‍ෂක හමුදා අපහසුතාවයට පත් කිරීම බවත්ය.
රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත පවරා දී තිබෙන බවද අග්‍රාමාත්‍යරයා නිවේදනය කළේය.
එම නිසා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment